ලංකා විදුලිබල මණ්ඩලයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 30ක්

December 10, 2024 - 4:19 PM
ලංකා විදුලිබල මණ්ඩලය සඳහා ඩොලර් මිලියන 30ක මූල්‍ය පහසුකමක් වෙනුවෙන් අනුමැතිය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබෙනවා.

එම බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ වන විට ක්‍රියාත්මක සහ අනාගත බලශක්ති අංශයේ ව්‍යාපෘතිවල තිරසාර බව තහවුරු කිරීමට එම මූල්‍ය පහසුකම යොදවන බවයි.

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයටත් එම ක්ෂේත්‍රය සඳහා පුද්ගලික අංශයේ දායකත්වය වැඩිකර ගැනීමත් මෙම වැඩසටහනේ අරමුණු වී තිබෙනවා.

2030 වසර වන විට ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන් ඔස්සේ ලබා ගැනීමට ඇති සැලැස්ම සාර්ථක කර ගැනීමටත් මෙම වැඩසටහන වැදගත් වන බව ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

(xanin.lk)