මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අදියර තුනක් යටතේ

November 12, 2024 - 3:20 PM
මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ලබන 14 වනදා පස්වරු 4.15ට ආරම්භ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසනවා.

ඔහු කියා සිටියේ සාමාන්‍ය ඡන්ද ගණන් කිරීම 14 වනදා ඡන්ද මධ්‍යස්ථානවලින් ඡන්ද පෙට්ටි ලැබුණ විගස පස්වරු 7.15ට පමණ නිලධාරීන් සම්පූර්ණ වූ විට ආරම්භ කරන බවයි.

එහිදී ඡන්දය ගණන් කිරීමේ ක්‍රමවේදය අදියර තුනක් යටතේ සිදුවනවා.

ඒ අනුව පළමුව එක් එක් ඡන්ද පෙට්ටියේ ඡන්ද සංඛ්‍යාව ගණන් කරන  බවත් දෙවනුව එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සඳහා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව ගණන් කරන බවත් සභාපතිවරයා සඳහන් කළා.

ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව අනුව එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් පත් විය යුතු මන්ත්‍රී ධුර සංඛ්‍යාව ගණනය කරනු ලබනවා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ අනතුරුව පිළිගත් දේශපාලන පක්ෂවලින් හෝ ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන්ගේ මනාප ගණනය කිරීම සිදු කරන බවයි.

(xanin.lk)