පළාත් පාලන ඡන්දය කල් දැමීමට අදාළ පෙත්සම් විභාගය කල් යයි

May 21, 2024 - 1:43 PM
පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් දෙන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති පෙත්සම් විභාගය මැයි මස 29 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළා.

2023 වසරේ මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.  

අදාළ පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවූ නමුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල අද නිසි අත්කරව සංයුක්ත වී නොමැති බැවින් එම පෙත්සම සලකා බැලීම එලෙස කල් තැබුවා.

(xanin.lk)