එක්සත් ජනපදයෙන් සහතිකයක්

April 11, 2024 - 10:32 AM
ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට එක්සත් ජනපදය පුර්ණ සහයෝගය ලබා දෙන බව එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක Jake Sullivan පවසනවා.

මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සමඟ ඊයේ (10) පැවති දුරකථන සංවාදයකදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගත් තීරණාත්මක මාතෘකා රැසක් සාකච්ඡා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) සඳහන් කළා.

කඩිනම් ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ උත්සාහයන් අගය කර ඇති Sullivan, IMF වැඩසටහනේ මූල්‍ය සහ පාලන අංග සම්පූර්ණ කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබෙනවා.

කලාපයේ සාමය සහ ආරක්ෂාව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් දෙරට අතර අන්‍යෝන්‍ය අරමුණු අවධාරනය කරමින්, ශ්‍රී ලංකාව සමඟ අඛන්ඩව සම්බන්ධ වීමට දැඩි උනන්දුවක් දක්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

(xanin.lk)