ඩයනා නිසා සමගි ජන බලවේගයට ප්‍රශ්නයක් නෑ - මැතිවරණ ‌කොමිසම

May 13, 2024 - 3:38 PM
පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ ගැටලුවක් නොමැති බවත්, දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේදී පුද්ගලයන්ගේ ද්විත්ව පුරවැසිභාවය බාධාවක් නොවන බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ සහ ඇයගේ සහකරු වන සේනක ද සිල්වා වරක් ‘අපේ ජාතික පෙරමුණ’ නම් දේශපාලන පක්ෂයක හිමිකාරිත්වය දැරූ නමුත් එහි අයිතිය වත්මන් විපක්ෂයේ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමකට 2020 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර පවරා ඇති අතර පසුව එය 'සමගි ජන බලවේගය' ලෙස නැවත නම් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසන්නේ අපේ ජාතික පෙරමුණ, සමගි ජන බලවේගය ලෙස නැවත නම් කර ඇති අතර මැතිවරණ කොමිසම විසින් එය සමගි ජන බලවේගය ලෙස පිළිගෙන ඇති බවයි.

වත්මන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සඳහා නාමයෝජනා නිකුත් කර ඇත්තේ එහි වත්මන් ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර නමින් වන බැවින්, ඒ සම්බන්ධයෙන්ද පැහැදිලි ගැටලුවක් නොමැති බව සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

(xanin.lk)