ජනපතිගේ ආරාධනයෙන් මස්ක් ලංකාවට එයි ?

May 20, 2024 - 4:03 PM
ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවය දියත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය බිලියනපති ඊලෝන් මස්ක් පිළිගෙන ඇති බවට වාර්තා වනවා.

 ඊලෝන් මස්ක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ඊයේ (19) ඉන්දුනීසියාවේ බාලි දූපතේදී පැවැත්වුණු අතර එහිදී පුනර්ජනනීය බලශක්තිය, කෘතිම බුද්ධිය සහ ලෝක දේශපාලනය ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම එම හමුවේදී මෙම වසර අවසානයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ඊලෝන් මස්ක් තාවකාලිකව එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඊලෝන් මස්ක් මෙරටට පැමිණෙන දිනය ස්ථිර වශෙයන් තීරණය කර නැති අතර සියලු දේ රඳා පවතින්නේ ශ්‍රී ලංකාව ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවයට අනුමැතිය ලබා දීම කඩිනම් කරන ආකාරය මත බවත් අනුමැතිය ලබා දුන් විගස ඔහු මෙරටට පැමිණෙන බවටත් වාර්තා වනවා.

ඊලෝන් මස්ක් විසින් ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවය ශ්‍රී ලංකාවේ දියත් කිරීමට ඉල්ලුම් කර තිබූ අතර ඒ සඳහා කඩිනමින් අනුමැතිය ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එකඟ වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. 

(xanin.lk)