තීරණාත්මක පනත් කෙටුම්පත් 2ක් හෙට පාර්ලිමේන්තුවට

May 21, 2024 - 11:23 AM

මෙරට ආර්ථිකයට අතිශය තීරණාත්මක පනත් කෙටුම්පත් දෙකක් හෙට (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර ඇති බව වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ඊයේ (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.

ඒ අනුව යළි ආර්ථික කඩා වැටීමක් ඇති නොවීමට අදාළව 'ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත' සහ රටේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ප්‍රශස්ත මට්මක පවත්වාගෙන යාම වෙනුවෙන් 'රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත' ඉදිරිපත් කරන බවයි ඔහු කියා සිටියේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ 'ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත' ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කරනු ලැබූවක් නොවන බවත් එය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් අනුව ඉදිරිපත් කරන පනත් කෙටුම්පතක් බවයි.

එමෙන්ම 'රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත' ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඒකාබද්ධ වැඩසටහන තුළ පෙන්වා දුන් කරුණක් බවත් එය රටේ ඉදිරි මූල්‍ය කළමනාකරණයේදී ඉතාම වැදගත් වන පනත් කෙටුම්පතක් බවත් ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළා.
 
(xanin.lk)