ශ්‍රීලනිප වැඩ බලන සභාපතිගේ වාරණය යළි දීර්ඝ කරයි

May 15, 2024 - 2:26 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති, වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස තේරී පත් වූ අධිකරණ ඇමති අමාත්‍ය විජයදාස රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරථි දුෂ්මන්ත යන අයට එම ධූරවල කටයුතු කිරීම සහ එම තෝරා පත් කර ගැනීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝග ලබන 27 දක්වා යළි දීර්ඝ කර තිබෙනවා.

වැඩ බලන ප්‍රධාන ලේකම්ගේ හා වැඩ බලන සභාපතිවරයාගේ තීරණ ක්‍රියාත්මක කිරීම හෝ බලාත්මක කිරීම වළක්වමින් නිකුත් කළ වාරණ නියෝගයද කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (15) යළි දීර්ඝ කිරීමට නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික හා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක,දුමින්ද දිසානායක හා නිදහස් පක්ෂයේ  ජ්‍යෙෂ්ඨ උප සභාපති, කෘෂිකර්ම අමාත්‍ය  මහින්ද අමරවීර යන මහත්තුරුන් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව එම වාරණ නියෝග නිකුත් කර තිබුණා.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාල, වැඩ බලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ, පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා නම් කර තිබෙනවා.

වාරණ නියෝගවලට එරෙහි විත්තියේ විරෝධතා ලබන 27 දින ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා දන්වා සිටියා.

(xanin.lk)