නවක මන්ත්‍රීවරුන්ට අනිද්දා සිට වැඩමුළුවක්

November 23, 2024 - 10:05 AM
පාර්ලිමේන්තුවට තේරී පත්වූ අභිනව මන්ත්‍රීවරුන් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩමුළුව ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී භූමිකාවේ කාර්ය භාරය, පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදිත ක්‍රියාවලිය, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාවලිය, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන පිළිබඳව මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ති‍බෙන බවයි.

මන්ත්‍රීවරුන්ට ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය භාවිතයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන ප්‍රායෝගික සැසියක්ද, දුෂණ විරෝධී පනත මගින් ස්ථාපිත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අදාළ නීති හා ක්‍රියාවලින් පිළිබඳවද මෙහිදී දැනුවත් කරන බවයි වාර්තා වන්නේ.  

එමෙන්ම පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ කාර්යාංශ ප්‍රධානීන් විසින් එම  අංශ මඟින් පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව ඔවුන්ගේ දායකත්වය හා කාර්යයන් පිළිබඳවද මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතව තිබෙනවා.

(xanin.lk)