විජයදාසගේ අභියාචනා පෙත්සම හෙටට කල් යයි

May 21, 2024 - 6:05 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩබලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත පත් වීම නීතිවිරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ පසුගියදා පැමිණිල්ලක් ගොනු කළා.

එම පැමිණිල්ල නිෂ්ප්‍රභ කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද (21) බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනුණා.

එහිදී විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා සඳහන් කළේ කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සමේ විත්තිකරුවන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන අය කොළඹ දිසා අධිකරණ බලසීමාවේ පදිංචිකරුවන් නොවන බව දිසා විනිසුරුවරයා විසින් තීරණය කිරීම නිසා එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබූ වාරණ නියෝග නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ බවයි.

එම තත්ත්වය යටතේ අදාළ පැමිණිල්ල සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභ නොකොට දිසා විනිසුරුවරයා එය සංශෝධනය කිරීමට අවසර දීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, ඒ අනුව විත්තිකරු විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පැමිණිල්ල නිෂ්ප්‍රභ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව එම පෙත්සමේ වැඩිදුර විභාගය සඳහා හෙට (22) දින තෙක් කල් තැබුණා.

(xanin.lk)