විදේශවල සිර වී සිටින ලාංකිකයින් මුදා ගැනීමට සජබ කණ්ඩායම තායිලන්තයට

May 27, 2024 - 2:35 PM
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උසස් රැකියා අවස්ථා ලබා දෙන පවසා මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයට නතුව සිටින තරුණ තරුණියන් 49 දෙනා සහ රුසියානු - යුක්‍රේන යුද්ධයට මැදි වී රුසියාවේ සිටින ශ්‍රී ලාංකික රණවිරුවන් බේරා ගෙන යළි ශ්‍රී ලංකාවට රැගෙන ඒමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනකු අද (27) තායිලන්තය බලා පිටත්ව ගියා.

එම විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට නීතීඥ වසන්ත යාපා බණ්ඩාර, ජේ.සී.අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් ඇතුළත් වී සිටි අතර මොවුන් මියන්මාරයේ සහ රුසියාවේ දින 05 බැගින් ගත කරමින් මෙම බේරා ගැනීමේ මෙහෙයුම දියත් කිරීමට නියමිතය.

ඒ අනුව දින 10ක සංචාරයක් වන මෙම රාජතාන්ත්‍රික මෙහෙයුම සදහා එම රටවල රාජතාන්ත්‍රික නිලධාරීන් සහ තෙවන පාර්ශවයන් සමග සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කිරීම සදහා මෙම පිරිස පිටත්ව ගියා.

එහිදී ඔවුන් ත්‍රයි නිකායික මහ නාහිමිවරුන්ගේ සහ විපක්ෂ නායකවරයාගේ ඉල්ලීම් රැගත් ලිපි රැගෙන මියන්මාරය සහ රුසියාව බලා පිටත්ව ගොස් තායිලන්තයේ, මියන්මාරයේ සංඝ නායක හිමිවරුන් සහ රුසියාවේ රාජතාන්ත්‍රික නිලධාරීන් හමු වී භාර දීමට නියමිතයි.

(xanin.lk)