නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු අද තැපෑලට

August 26, 2024 - 10:02 AM
නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු අද (26) තැපෑල වෙත භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා දීමේ මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.

අද සිට නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු අදාළ ගමනාන්ත වෙත යොමු කිරීමට කටයුතු කර බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙවර තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 712,319ක්.

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් 04, 05 සහ 06 යන දිනයන්වල පැවැත්වෙන අතර එම දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින තැපැල් ඡන්ද ලබා දීමට හැකියාව තිබෙනවා.

(xanin.lk)